Wednesday, January 21, 2015

"යහ-පාලනය" අර්ථ දැක්වීම

මර්වින් සිල්වා විසින් මිනිසුන් ගස් බඳින විට අපි ඒ පාලනයට "යහ-පාලනය" යයි නොකීවෙමු, මර්වින් සිල්වා විසින් ජාතික රූපවාහිනියට අමු අමුවේ පහරදෙන විට අපි ඒ පාලනයට "යහ-පාලනය" යයි නොකීවෙමු, කුඩු කන්ටේනර්පිටින් පිටින් ගෙනවිත් එහි සාක්ෂි කරුවන් නීතිය හමුවේ නොගෙනා විට ඒ පාලනයට "යහ-පාලනය" යයි නොකීවෙමු, තංගල්ල මෙන්ම වෙනත් ප්‍රා.ස /පළාත් සභා කිහිපයක සභාපති වරුන් ස්ත්‍රී දූෂකයන් වද්දී ඔවුන් ආරක්ෂා කර නීතිය හමුවට නොගෙනීමෙන් ඒ පාලනයට "යහ-පාලනය" යයි නොකීවෙමු. දුමින්ද සිල්වාගේ මැර කල්ලිය හා භාරත ලක්ෂ්මන්ගේ මැර කල්ලිය අමු අමුවේ මහමග තුවක්කු රැගෙන කෙලි සෙල්ලම් කර මිනිසුන් මරා දමා නීතියේ ආධිපත්‍ය බල්ලන්ට පුදන විට අපි ඒ පාලනයට "යහ-පාලනය" යයි නොකීවෙමු. චෝදනා රහිතව හිටපු හමුදාපති සරත් ෆොන්සේකා සහ හිටපු අගවිනිසුරු ශ්‍රියාණි මහත්මිය ගේ "වැටුප", "ජීවත් වූ නිවස" අහිමි කර, සහ නොයෙක් තාඩන පීඩන වලට ලක් කර හිරේ දැමීමට ක්‍රියා කල විට අපි ඒ පාලනයට "යහ-පාලනය" යයි නොකීවෙමු...!!
නමුත් නාහෙට අහන්නේ නැති අසමත්ජාති යු.ඇන්.පි මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම වත්මන් ආණ්ඩුව පැත්තේ වුවද, ඔහු කල අශික්කිත චර්යාව හේතුවෙන් ඔහුව සිර භාරයට අද ගත් විට එය අපි "යහ-පාලනය" යයි අර්ථ දැක්කුවෙමු. කුඩු , මත් ද්‍රව්‍ය ලංකාවේ ප්‍රචලිත කිරීම උදෙසා චෝදනා විශාල සංඛ්‍යාවක් සහිත "වෙලේ සුදා" හිරේ දැමීමට ක්‍රියා කල විට එය අපි "යහ-පාලනය" යයි අර්ථ දැක්කුවෙමු. යුද්ධය අවසන් කරලීම සඳහා තම ජීවිතයද පරදුවට තබා වැඩකළ සරත් ෆොන්සේකා මහතා අද දින චෝදනා වලින් නිදහස් කල විට එය අපි "යහ-පාලනය" යයි අර්ථ දැක්කුවෙමු.....

මහින්දට "මර්වින් සිල්වා" හිරේ දැමීමට හෝ අවවාද දීමට නොහැකි වීමෙන් සිදු වුයේ නීතිය වල් වැදීම බව සක් සුදක් සේ පැහැදිලිය. එමෙන් රටට යන පණිවිඩය වන්නේ "ඔය මර්වින් මොනවා කලත් අපිට මොකද, ඔය මිනිහා මහා මෝඩයා නේ යන්නයි " , නමුත් එයින් මහා විනාශයක් සිදු විය. එනම් වැරදි කලත් මහින්දගේ පැත්තෙනම් ඕනෙම කෙනෙකුට ආරක්ෂාව ඇති බව සමාජයට තහවුරු වීමයි. එයින් මිනිසුන් තව තව වැරදි කිරීමට උඩ ගෙඩි දීමකි.

නමුත් අලුත් පාලන ක්‍රමය යම්කිසි ආදර්ශමත් බවක් සමාජයට ලබා දී ඇත. එය හුදෙක් "මහින්ද ලෝලියන්ට නම්" වහ කදුරු විය හැක. කෙසේ වෙතත් ඉදිරියේදී ස්වාධීන කමිෂන් සභා, මෙන්ම කෝප් සභා ක්‍රියාත්මක වීමෙන් පසුව ඉදිරියට ලංකාවේ නීතිය, සමාජ යහ පැවැත්ම, ජීවිත සුරක්ෂිතතාව තව දුරට දියුණු වේ යයි අපට බලා පොරොත්තු ඇතිකර ගත හැක...!!

නමුත් කලින් පේන කීම හොඳ වැඩිය.... අප සිටින්නේ අවධානයෙන් ඇස් යෝමාගෙනය... නරක් වී ගෙන එනවානම් ඕනෑම බල සම්පන්න ආණ්ඩුවක් පෙරලීමට දැන් මිනිසුන් සුදානම්ය... එනිසා අද ලංකාවේ දේශපාලනය එදා රස්තියාදු දේශපාලනයට වඩා තරමක් බැරෑරුම්ය... වැඩ නොකලොත් එන්නටත් කලින් ගෙදර යාමට සිදුවන බවනම් ඒකාන්තය......!!

අදහස්: දිලීප කැළුම් රූපසිංහගෙනි